ක්ෂේත්‍ර සනීපාරක්ෂාව සහ තක්කාලිවල පසු අස්වනු කළමනාකරණය පිළිබඳ පුහුණුව

සෑම ඉලක්කගත දිස්ත්‍රික්කයකම තෝරාගත් ගොවි කණ්ඩායම් භාර සියලුම ක්ෂේත්‍ර නිලධාරීන් සහ ගොවීන් සඳහා ක්ෂේත්‍ර සනීපාරක්ෂාව සහ තක්කාලි පසු අස්වනු කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩසටහනක් පසුගිය දින කිහිපයේදී සංවිධාන කරන ලදී. ක්ෂේත්‍ර සනීපාරක්ෂක පිළිවෙත් පිළිබඳව ඇති දැනුවත්භාවය වැඩි කිරීම, වඩාත් හොඳ සෞඛ්‍ය සම්පන්න බෝග සහ අස්වැන්නක් සහතික කිරීම සඳහා අවශ්‍ය දැනුම සහ කුසලතා ක්ෂේත්‍ර නිලධාරීන්ට ලබාදී, ඔවුන් හරහා අනෙකුත් ෂෙප් ගොවි කණ්ඩායම්වල ගොවීන් වෙත මෙම දැනුම ප්‍රචාරය කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ.

පළිබෝධ සහ රෝග පැතිරීම වැළැක්වීම සඳහා ක්ෂේත්‍ර සනීපාරක්ෂාව ඉහළ මට්ටමකින් පවත්වා ගැනීමේ වැදගත්කම, එය පවත්වාගන්නා ආකාර පිළිබඳව මෙන්ම දිස්ත්‍රික්කවලට අදාල විශේෂිත බෝග සඳහා ඇති ගැටළු සහ එවැනි ගැටලු වලට ජපානයේ භාවිතා වන ජපන් තාක්ෂණයන්  පිළිබඳ අවධානය යොමු විය. ජපානයේ භාවිතා කරන අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර කළමනාකරණ ශිල්පීය ක්‍රම ලෙස මිතුරු බෝග සමග වගා කිරීම, කප්පාදු කිරීමේ සහ පුහුණු කිරීමේ ක්‍රම වැනි භාවිතයන් ඉස්මතු කරන ලදී.

ඒ අතර, පුද්ගල සනීපාරක්ෂාව, පාංශු සනීපාරක්ෂාව, ජල සනීපාරක්ෂාව, රෝගවලින් තොර බීජ සහ බීජ පැල භාවිතය, ආසාදිත ශාක/ශාක කොටස් ඉවත් කිරීම, උපකරණ සනීපාරක්ෂාව, සහ අවට පරිසරය නිරන්තර නිරීක්ෂණය කිරීම සහ පිරිසිදු කිරීම වැනි අත්‍යවශ්‍ය සනීපාරක්ෂක ක්‍රියාමාර්ග මෙම පුහුණුවේදී ආවරණය විය.

ජයිකා විශේෂඥ කණ්ඩායමේ උද්‍යාන බෝග නිෂ්පාදන විශේෂඥවරිය වන යොකෝ නගතා මහත්මියගේ නායකත්වය යටතේ, ක්ෂේත්‍ර සනීපාරක්ෂාව පිළිබඳ පුහුණුව සාර්ථකව සිදු කරන ලදි. මෙම වැඩසටහනේ කොටසක් ලෙස, ක්ෂේත්‍ර නිලධාරීන්ගේ මගපෙන්වීම යටතේ, ගොවීන් සනීපාරක්‍ෂක ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂයෙන් සකසන ලද පිරික්සුම් ලැයිස්තුවක් භාවිතා කරමින් ක්ෂේත්‍ර සනීපාරක්ෂාව පවත්වා ගන්නා ආකාරය පිළිබඳ අවබෝධය ලබා ගනිමින්, ක්‍රියාකාරීව ප්‍රායෝගික පුහුණුවට සහභාගි විය. මෙම ප්‍රායෝගික ප්‍රවේශය මඟින් ගොවීන් විසින් නොසලකා හරින ලද ක්ෂේත්‍ර සනීපාරක්ෂාව, පළිබෝධ සහ රෝග වලින් බෝග ආරක්ෂා කිරීමේ වැදගත්කම වටහාගැනීමට හැකි විය.

මෙම පුහුණුවේදී ගන්නෝරුව ආහාර පර්යේෂණ ඒකකයේ ආචාර්‍ය අශෝක මහතාගේ ප්‍රධානත්වයෙන් තක්කාලි පසු අස්වනු කළමනාකරණය පිළිබඳ සැසියක් පැවැත්විණි. මෙහිදී ගොවීන්ට තක්කාලි අස්වැන්න නෙලීම සඳහා සුදුසු අවධිය, වේලාව සහ ක්‍රම පිළිබඳව වටිනා අවබෝධයක් ලබා ගත හැකි විය. නිවැරදි ගුණාත්මකත්වයෙන් යුත් තක්කාලි වෙළඳපොළට ගෙන ඒම සහතික කිරීම සඳහා වැදගත් වන පියවරයන් වන පිරිසිදු කිරීම, වර්ග කිරීම, ශ්‍රේණිගත කිරීම, ඇසුරුම් කිරීම සහ ප්‍රවාහන ශිල්පීය ක්‍රම පිළිබඳව ද මෙහිදී ආවරණය කෙරිණි.

එමෙන්ම ප්ලාස්ටික් කූඩ භාවිතයෙන් තක්කාලි නිවැරදිව ඇසුරුම් කිරීම පිළිබඳ ලබා දුන් ප්‍රායෝගික පුහුණුව තුළින් ගොවීන්ට දැනට ඔවුන් විසින් කරනු ලබන වැරදි ක්‍රමවේදයන් හඳුනා ගැනීමට සහ වඩාත් කාර්යක්ෂම භාවිතයන් අනුගමනය කිරීමට හැකියාව ලැබිණ.

ක්ෂේත්‍ර නිලධාරීන් විසින් ගොවීන් සවිබල ගැන්වීම, දැනුම හුවමාරු කර ගැනීම සහ නිපුණතා සංවර්ධනය සඳහා මෙම පුහුණුව මහඟු අවස්ථාවක් විය. පෙර අස්වනු හා පසු අස්වනු හානීන් අවම කර ගනිමින්, වඩාත් හොඳ අස්වැන්නක් ලබා ගැනීම සඳහා ගොවීන් විසින් ලබාගත් තාක්ෂණික දැනුම සහ භාවිතයන් ඔවුන්ගේ වගාවන් සඳහා යොදාගනිමින් තිරසාර කෘෂිකාර්මික සංවර්ධනය කරා යෑමට මෙය ශක්තිමත් මඟපෙන්වීමක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සමීක්ෂණය / Survey

අපගේ කෘෂි තොරතුරු කේන්ද්‍රය ඔබට සහාය වන ආකාරය ගැන අපි දැන ගැනීමට කැමැත්තෙමු! ඒ සඳහා මිනිත්තු 2ක් වැයකරමින් අප සකසා ඇති ප්‍රශ්ණාවලියට පිළිතුරු සපයනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබේ අදහස් අපට ඉතා වැදගත්!​

We would love to learn how our Agricultural Information Hub has been helpful to you! Please take just 2 minutes to answer the short questionnaire we have prepared. Your feedback is very important to us!