පලමු කෘෂි ව්‍යාපාර සංසදය

Agribusiness Forum

2025 ජනවාරි මස 16 වන දින දඹුල්ලේ කෘෂි තොරතුරු කේන්ද්‍රය සහ බීජ අලෙවිසැල පරිශ්‍රය තුළ, සැපයුම් දාමය ශක්තිමත් කිරීමේ ක්‍රියාකාරකමක් ලෙස සංවිධානය කල පළමු කෘෂි ව්‍යාපාර සංසදය ඉතා සාර්ථක ලෙස පැවැත්විනි. ගොවීන්, වෙළෙන්දන් සහ කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරීන් සඳහා සංවිධානය කළ මෙම වැඩසටහනේ මූලික අරමුණ වූයේ එළවළු සැපයුම් දාමයේ පසු අස්වනු කලමනාකරණය පිළිබඳව සවිස්තරාත්මකව දැනුවත් කිරීමයි.

මෙම අවස්ථාව සඳහා ජාතික පසු අස්වනු කලමනාකරණ ආයතනය, කීල්ස් ආයතනය, ෆීනික්ස් ආයතනය සහ සී.අයි.සී ආයතනය වැනි පෞද්ගලික ආයතන මෙන්ම හැටන් නැෂනල් බැංකුවද සහභාගි වූ අතර ගොවීන්ට වටිනා තොරතුරු සහ උපදෙස් රැසක් ලබාදෙන ලදි.

ජාතික පසු අස්වනු කලමනාකරණ ආයතනය මගින් ගුණාත්මක සහ ප්‍රමාණාත්මකව පසු අස්වනු හානිය අවම කරමින් සැපයුම් දාමය ශක්තිමත් කරන ආකාරය පිළිබඳව සවිස්තරාත්මක දැනුවත් කිරීමක් කරන ලදි. ප්‍රධාන පෙලේ සැපයුම් දාම ආයතනයක් වන කීල්ස් ආයතනය, පසු අස්වනු හානිය 4-5% ක් දක්වා අවම කරමින් ඔවුන්ගේ එළවළු සහ පලතුරු සැපයුම් දාමය කාර්‍යක්ෂමව කළමනාකරණය කරන ආකාරය ගොවීන් හමුවට ඉදිරිපත් කළහ.

එමෙන්ම ෆීනික්ස් ආයතනය මගින් බෝගයට ගැලපෙන ප්ලාස්ටික් කූඩ තේරීම පිළිබඳව මෙන්ම එළවළු සහ පලතුරු ප්‍රවාහනයට සාමන්‍ය දැල් උර භාවිතයෙන් ඉවත්ව ප්ලාස්ටික් කූඩ භාවිතයෙන් පසු අස්වනු හානිය අවම කිරීමෙන් ගොවීන්ට අත්විදිය හැකි ප්‍රතිලාභ පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලද අතර, සී.අයි.සී ආයතනය ඔවුන් සතු තාක්ෂණික විසඳුම්, විශේෂයෙන්ම කෘෂි තොරතුරු ඇතුළත් දුරකථන ඇප් එක පිළිබඳව ගොවීන් දැනුවත් කරන ලදි.

මෙම සංසදයේ තවත් වැදගත් අවස්ථාවක් වූයේ හැටන් නැෂනල් බැංකුව මගින් වගා ණය පහසුකම් සහ මූල්‍යමය උපකාරක ප්‍රතිපත්ති පිළිබඳව ගොවීන් හමුවට ගෙන ඒමයි. එමෙන්ම ජයිකා ෂෙප් ව්‍යාපෘතියේ සැපයුම් දාම ශක්තිමත් කිරීමේ ක්‍රියාදාමයක් වශයෙන්, කෘෂි තොරතුරු කේන්ද්‍රය සඳහා නිර්මාණය කරන ලද වෙබ් පිටුව සහ එමගින් ලබාගත හැකි තොරතුරු පිළිබඳවද මෙහිදී අවධානය යොමු කරන ලදි.

මෙම කෘෂි ව්‍යාපාර සංසදය ගොවීන්ට පෙර හා පසු අස්වනු කලමනාකරණයේ ඇති වැදගත්කම සහ පසු අස්වනු හානිය අවම කර ගැනීමෙන් ඔවුන්ට අත්විඳිය හැකි ප්‍රතිලාභ පිළිබඳ මනා අවබෝධයක් ලබා මහඟු අවස්ථාවක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *