නිරාවරණ ක්ෂේත්‍ර චාරිකාවන් හරහා කෘෂිකාර්මික දැනුම හා අත්දැකීම් හුවමාරු කිරීම

නිරාවරණ ක්ෂේත්‍ර චාරිකා

ෂෙප් ප්‍රවේශයෙහි හතරවන පියවර වන ගොවීන් විසින් කුසලතා ලබා ගැනීම යටතේ ගොවීන් දැනටමත් තෝරාගෙන ඇති බෝග සම්බන්ධව නව දැනුම ලබා ගැනීම සිදුවෙන අතර, මෙම පියවර සඳහා ගොවීන් තුළ ඇති කැමැත්තද ඉහළ මට්ටමක පවති. එහිදී, ගොවීන්ගේ ඉල්ලුම අනුව ක්ෂේත්‍ර පුහුණු වැඩසටහන් සංවිධානය කරමින්, ඔවුන්ට ප්‍රායෝගික අත්දැකීම් ලබාදීම සඳහා දිස්ත්‍රික්ක මට්ටමින් නිරාවරණ ක්ෂේත්‍ර චාරිකාවන් ක්‍රියාත්මක කරයි. මෙම චාරිකාවන් හරහා, ගොවීන් එකිනෙකාගේ වගා අත්දැකීම් හුවමාරු කර ගනිමින් නවතම තාක්ෂණයන් පිළිබඳව මනා අවබෝධයක් ලබාගනී. ඒ අනුව දෙවන ඉලක්කගත ගොවි කණ්ඩායම් උදෙසා නිරාවරණ ක්ෂේත්‍ර චාරිකාවන් මේ දිනවල ක්‍රියාවට නැංවෙමින් පවති.

නව දැනුම සොයා යාමට මෙය මහඟු අවස්ථාවක් වන බැවින් ෂෙප් ගොවීන් මහත් උනන්දුවක් ඇතිව මෙම නිරාවරණ ක්ෂේත්‍ර චාරිකාවන්ට සහභාගිවෙයි. ඔවුන්, දීර්ඝ කාලයක් පුරා වගා කටයුතුවල නිරතවීමෙන් ලබාගත් පූර්ව අත්දැකීම් හා ව්‍යාපෘතිය මඟින් ලබාදුන් නව දැනුම උපයෝගී කරගනිමින්, නව තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කරනු ලබන ගොවීන්ගේ වගා ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමටද අවස්ථාව ලබාගනිති.

ඒ අනුව මෙම නිරාවරණ ක්ෂේත්‍ර චාරිකාවන් හරහා ඉතාමත් සාර්ථක ලෙස දිස්ත්‍රික්කයේ සිටින ෂෙප් ගොවීන් එකිනෙකා සමග දැනුම බෙදාහදා ගැනීම, ගොවි කණ්ඩායම් අතර සුහදතාවය වර්ධනය කර ගැනීම සහ ඔවුන් තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමද සිදුවිය. විශේෂයෙන්ම මෙම නිරාවරණ ක්ෂේත්‍ර චාරිකාවන් ගොවීන්ගේ කෘෂිකාර්මික දැනුම සහ කුසලතා වැඩි දියුණු කිරීම සඳහා ඵලදායී ක්‍රමයක් බවට මෙහිදී සනාථ විය.

අද වනවිට, සාම්ප්‍රදායික වගාවෙන් බැහැරව නවීන ජල සම්පාදන ක්‍රම (විසිරුම් ජල සැලසුම්, බිංදු ජල පද්ධති), වගා ගෘහ තුළ බෝග වගා කිරීම, පොලිතීන් වසුන් යොදා බෝග වගා කිරීම වැනි නව්‍ය ක්‍රම භාවිතා කරන ගොවීන් වැඩි ප්‍රතිලාභ ලබාගන්නා බව මෙහිදී පැහැදිලිව දැකීමට හැකි විය.

මෙම නිරාවරණ චාරිකාවන් හරහා, වගා වියදම් අඩු කරමින් වැඩි ආදායමක් ලබාගන්නා ආකාරය පිළිබඳවද සාකච්ඡා සිදුවන අතර, වෙළඳපල අවශ්‍යතාව අනුව වගා සැලසුම් කිරීම පිළිබඳවද ගොවීන්ගේ අවබෝධය වැඩිවිය.

ෂෙප් ව්‍යාපෘතිය මඟින් ක්‍රියාත්මක කරන මෙම උත්සාහයන්, ගොවීන්ගේ අඛණ්ඩ ඉගෙනීම සහ සහයෝගීතාවය දිරිමත් කිරීම තුළින් නවීන දැනුම හා කුසලතා වර්ධනය කිරීමේ දී සැලකිය යුතු දායකත්වයක් ලබාදෙමින්, කුඩා හා මධ්‍යම පරිමාණ කෘෂිකර්මික නිෂ්පාදකයින්ගේ ආදායම වැඩිදියුණු කිරීමටත්, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය තවදුරටත් ශක්තිමත් කිරීමටත් මහඟු දායකත්වයක් සපයනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සමීක්ෂණය / Survey

අපගේ කෘෂි තොරතුරු කේන්ද්‍රය ඔබට සහාය වන ආකාරය ගැන අපි දැන ගැනීමට කැමැත්තෙමු! ඒ සඳහා මිනිත්තු 2ක් වැයකරමින් අප සකසා ඇති ප්‍රශ්ණාවලියට පිළිතුරු සපයනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබේ අදහස් අපට ඉතා වැදගත්!​

We would love to learn how our Agricultural Information Hub has been helpful to you! Please take just 2 minutes to answer the short questionnaire we have prepared. Your feedback is very important to us!