දිස්ත්‍රික් ෂෙප් සංසදය – 2025

ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ජයිකා ආයතනය එක්ව ක්‍රියාත්මක කරන ෂෙප් (SHEP) සහ සැපයුම්දාම ව්‍යුහ ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ සංවිධානය කරන ලද නුවරඑළිය දිස්ත්‍රික් ෂෙප් සංසදය 2025 මාර්තු මස 27 වන දින කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශිරෝමනී එදිරිමාන්න මහත්මිය, සහ මධ්‍යම පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂක ජයලත් බණ්ඩාර මහත්මාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්විණි. මෙම අවස්ථාවට ව්‍යාපෘතිය සමග කටයුතු කරන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනෙකුත් නිලධාරීන් සහ මෙම දිස්ත්‍රික්කයේ ෂෙප් ගොවි කණ්ඩායම්වල නියෝජිතයින් මෙන්ම පෞද්ගලික අංශය නියෝජනය කරමින් HNB බැංකුව සහ කීල්ස් ආයතනයේ නිලධාරීන්ද ඇතුළුව විශාල පිරිසක් සහභාගිවූහ.

දිස්ත්‍රික්කය තුල ෂෙප් ප්‍රවේශය හරහා ගොවීන් ලබා ගත් ජයග්‍රහණයන් සහ ෂෙප් ප්‍රවේශයේ තිරසාරභාවය පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම, ගොවීන් සහ ක්ෂේත්‍ර නිලධාරීන් අතර සම්බන්ධතාවය වර්ධනය කර ෂෙප් ජාලයක් පිහිටුවීම මෙම සංසදයේ ප්‍රධාන අරමුණු විය.

පසුගිය වසර දෙකක කාලය තුළදී ලද අත්දැකීම් අනුව ෂෙප් ප්‍රවේශය ගොවීන් මත ධනාත්මක බලපෑම් ඇති කල බව ඔවුන්ගේ අත්දැකීම් තුළින් ඉදිරිපත් කරන ලදි. ඔවුන් පැහැදිලි කල පරිදි නිවැරදි වගා ක්‍රමවේදයන් හා නව තාක්ෂණික ක්‍රමවේදයන් අනුගමනය කිරීම, වගා කරන බෝගය තීරණය කිරීමට පෙර වෙළඳපොල අවශ්‍යතා සොයා බැලීම, ගොවිපල වාර්තා තබා ගැනීම, නව වෙළඳපොල අවස්ථා සොයා ගැනීම (අපනයන වෙළඳපොල), ගැනුම්කරුවන් සමග නිරන්තර සම්බන්ධතා පවත්වා ගැනීම තුළින් තොරතුරු හුවමාරු කර ගැනීම, කණ්ඩායම් ගත වීම තුළින් මිල දී ගැනීම් හා අලෙවි කිරීම් පහසු වීම මෙන්ම ණය පහසුකම් ලබා ගැනීමටද පහසු වීම වැනි වෙනස්කම් ගොවිතැන් ක්‍රමවල, අලෙවිකරණයේ, වගේම ගොවි කණ්ඩායම් ක්‍රියාකාරකම් වල සිදු වී ඇත.

මීට අමතරව ඔවුන් මෙම ප්‍රවේශය හරහා ඔවුන්ගේ ජීවන මාර්ගවල මෙන්ම පවුල් සබඳතා වලද වෙනස්කම්ද අත්විදිමින් සිටී. ආදායම වැඩි වීමත් සමග ගොවීන් රෙදි සෝදන යන්ත්‍ර, යතුරුපැදි, ඉඩම් වැනි දෑ මිලදී ගැනීම තුළින් කාලය ඉතිරි කර ගැනීම, සහ වගා වපසරිය වැඩි කර ගැනීම, ස්වාමිපුරුෂයා හා භාර්‍යාව එක්ව ගොවිපළ කළමනාකරණය මෙන්ම ගෘහස්ථ කටයුතු සම්බන්ධයෙන් සාමූහිකව තීරණ ගැනීම, පවුලේ අයවැය එක්ව කළමනාකරණය කිරීම වැනි ප්‍රතිලාභ ඒ අතර විය.

මීට අමතරව කෘෂි ව්‍යාප්ති නිලධාරීන් සහ ගොවීන් අතර පවතින සබඳතාවය වර්ධනය වීම ව්‍යාපෘතිය හරහා සිදු වූ තවත් එක් සුවිශේෂී දෙයක් බව ගොවීන් විස්තර කරන ලදි. දිස්ත්‍රික්කය තුළ ෂෙප් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ගොවි කණ්ඩායම් අතර අන්තර් සම්බන්ධතාවය වර්ධනය කිරීමට ද මෙය අවස්ථාවක් විය. එමෙන්ම, ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා  පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අපේක්ෂිත දායකත්වය පිළිබඳව පළාත් අධ්‍යක්ෂවරුන්ගේ අදහස් ලබා ගැනීමටද මෙය වටිනා අවස්ථාවක් විය.

ෂෙප් ප්‍රවේශය හරහා සාර්ථක වූ ගොවීන්ට තවදුරටත් වෙළඳපොල අවස්ථා සහ ණය මූල්‍යමය පහසුකම් තුළින් සවිබල ගැන්වීම සඳහා පෞද්ගලික අංශය නියෝජනය කරමින් පැමිණි කීල්ස් ආයතනයේ නිලධාරීන් සහ HNB බැංකුවේ නිලධාරීන් ඔවුන් සතු පහසුකම් පිළිබඳව ගොවීන් දැනුවත් කිරීම සිදු විය.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය යටතේ ෂෙප් ප්‍රවේශයට අමතරව සැපයුම් දාමය ශක්තිමත් කිරීම සඳහා සිදු කරනු ලබන ක්‍රියාකාරකම් සහ ඒ හරහා ෂෙප් ගොවීන්ට අත්වන ප්‍රතිලාභ පිළිබඳව ගොවීන් දැනුවත් කිරීම තුළින්ද සමස්ත ව්‍යාපෘතිය පිළිබඳ මනා අවබෝධයක් සියල්ලන්ටම ලබා දීමට හැකි වූ අතර විශේෂයෙන්ම මෙම සංසදයන් ෂෙප් ප්‍රවේශය ඔස්සේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මාන්තය තිරසාර සංවර්ධනයකට රැගෙන යා හැකි බව සනාථ කිරීමටත්,වෙළඳපොළ පාදක කරගත් කෘෂිකර්මාන්තයක ඇති අවශ්‍යතාවය ඉස්මතු කිරීමටත් මහඟු අවස්ථාවක් විය. තවද මෙවැනිම වූ දිස්ත්‍රික් සංසදයන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අනෙකුත් දිස්ත්‍රික්ක වන මාතලේ, අනුරාධපුර, මොනරාගල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල ද සාර්ථකව පවත්වන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *