2025 වසරේ ෂෙප් ප්‍රවේශය ව්‍යාප්ත කිරීම සඳහා වන පුහුණුකරුවන් පුහුණු කිරිමේ (ToT) වැඩසටහන

SHEP

ෂෙප් ප්‍රවේශය ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට සැලකිය යුතු බලපෑමක් ඇති කරමින් ක්‍රියාත්මක වේ. පසුගිය වසර දෙක තුළ (2023 සහ 2024), ෂෙප් ප්‍රවේශය මොණරාගල, මාතලේ, නුවරඑළිය, අනුරාධපුර සහ බදුල්ල යන දිස්ත්‍රික්ක පහ පුරා ගොවි කණ්ඩායම් 37කට සාර්ථකව හඳුන්වා දී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, එම ගොවීන් ඔවුන්ගේ කෘෂිකාර්මික මානසිකත්වය “වැවීම සහ විකිණීම” සිට “විකිණීමට වැවීම” දක්වා පරිවර්තනය කර ඇති අතර, ඔවුන්ගේ ආදායම සහ වෙළඳපල ඵලදායී ලෙස ඉහළ නංවා ගැනීමට සමත් වී ඇත.

මෙම සාර්ථකත්වය මත පදනම්ව ෂෙප් ප්‍රවේශය 2025 වසරේදී මාතලේ සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල නව ගොවි කණ්ඩායම් වෙත තවදුරටත් ව්‍යාප්ත කිරීමට නියමිතය. මෙම ව්‍යාප්ත කිරීම පහසු කිරීම සඳහා, 2025 පෙබරවාරි 5 සිට 7 දක්වා මොනරාගලදී පුහුණුකරුවන් පුහුණු කිරීමේ (ToT) වැඩසටහනක් සාර්ථකව පැවැත්විණි. එහි දෙවන වැඩමුළුව පෙබරවාරි 20 සිට 22 දක්වා මාතලේ දිස්ත්‍රික්කයේ නව ගොවි කණ්ඩායම් භාර ක්ෂේත්‍ර නිලධාරීන් වෙත  පැවැත්වීමට නියමිතය. මෙම පුහුණු වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ SHEP ප්‍රවේශය අනුගමනය කිරීම සඳහා ගොවීන්ට මග පෙන්වීම සඳහා කටයුතු කරන ක්ෂේත්‍ර නිලධාරීන් අවශ්‍ය දැනුම හා කුසලතා වලින් සන්නද්ධ කිරීමයි. මෙම තෙදින වැඩසටහන සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශක, තාක්ෂණික සහායක මහත්ම මහත්මීන් මෙන්ම කීල්ස් (Keells), සී.අයි.සී (CIC), දහම්සා ඉන්ටර්නැෂනල් පුද්.සමාගම වැනි පෞද්ගලික ආයතනයන් හි නියෝජිත මහත්ම මහත්මීන් ද සම්බන්ධ විය.

දින තුනක් පැවැත්වූ මෙම පුහුණු වැඩසටහන ෂෙප් ප්‍රවේශය පිළිබඳ සවිස්තරාත්මක, ක්‍රමානුකූල අවබෝධයක් ලබාදීම සඳහා සැලසුම් කර තිබුණි. මෙහිදී සහභාගිවූ පිරිසට එහි ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන පියවර එකින් එක හඳුන්වාදීමක් සිදු කරනු ලැබීය. පළමු දිනයේදී, SHEP ප්‍රවේශය හඳුන්වාදීම සඳහා අවධානය යොමු වූ අතර මෙහිදී මුලින්ම පළමු පියවර වන සංවේදීකරණ වැඩසටහන පිළිබඳව දැනුවත් කරන ලදි.

එමඟින් සහභාගිවූවන් ෂෙප් ප්‍රවේශය ගොවීන් අතරට මුල්ම රැගෙන යන ආකාරය පිළිබඳ මූලික අවබෝධයක් ලබාගත්තේය. පසුව, දෙවන පියවරට අදාල වන මූලික සමීක්ෂණය සිදු කරන ආකාරය සහ පාර්ශවකරුවන්ගේ රැස්වීම පැවැත්වීමේ ක්‍රමවේදය පිළිබඳ මාර්ගෝපදේශය ලබාදෙන ලදී. මෙදින SHEP ප්‍රවේශය තුලින් වෙළඳපල ඉලක්ක කරගත් කෘෂිකර්මාන්තයක් කරා යෑමේ මූලිකම සිද්ධාන්තය පිළිබඳ වැදගත් අවබෝධයක් ඇති කිරීම සඳහා දැඩි පදනමක් සැලසීය.

දෙවන දිනයේදී, වෙළඳපල සමීක්ෂණය පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කරන ලද අතර, සහභාගිවූවන්ට වෙළඳපල සමීක්ෂණයක් සිදු කිරීමේ ක්‍රමවේදය පිළිබඳ මාර්ගෝපදේශ ලබාදී, ආසන්න ප්‍රාදේශීය වෙළඳපලකදී මූලික වෙළඳපල සමීක්ෂණයක් පැවැත්වීමෙන් එය සිදු කරන ආකාරය පිළිබඳ අත්දැකීම් ලබා දෙන ලදී. මෙම ක්‍රියාවලිය තුලින් ඔවුන්ට වෙළඳපල ඉල්ලුම තක්සේරු කිරීම, ඉලක්කගත බෝග තෝරා ගැනීම, සහ වෙළඳපල අවශ්‍යතාවයට අනුකූලව නිශ්පාදන සැකසීම පිළිබඳව වඩාත් නිවැරදි අවබෝධයක් ලබාදෙන ලදි.

අවසන් දිනයේදී, පුහුණු වැඩසටහන හතරවන පියවර වන ක්ෂේත්‍ර පුහුණුව ලබාදීම කෙරෙහි අවධානය යොමු කළ අතර මෙහිදී, ගොවීන්ගේ අවශ්‍යතා මත පදනම්ව මෙන්ම වඩාත් ප්‍රයෝජනවත් හා ක්‍රියාකාරී පුහුණුවක් ලබාදීම සඳහා වන පුහුණු කාලසටහන සකස් කළ අතර, දෙවන පියවරට අදාල වන ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳව පුහුණුව ගොවීන් සමඟ ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව ද දැනුම ලබා දුන් අතර, ලංකාවේ ෂෙප් ගොවීන්ගේ අත්දැකීම් මත පදනම් වූ සාර්ථකත්වයන් එකිනෙකා අතර බෙදාගැනීමට අවස්ථාව ලැබිණ. එය ෂෙප් ප්‍රවේශය ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ සාර්ථකව ක්‍රියාවට නංවා ඇති ආකාරය තහවුරු කිරීමට හා පුහුණුකරුවන්ට වඩාත් මනා අවබෝධයක් ලබාදීමට උපකාරී විය.

ToT වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූ නව ගොවි කණ්ඩායම් වෙත ෂෙප් ප්‍රවේශය හඳුන්වාදිය හැකි, යෝග්‍ය හා දැනුමැති ක්ෂේත්‍ර නිලධාරීන්ගේ කණ්ඩායමක් සකස් කිරීම සාර්ථකව ක්‍රියාවට නංවා ඇත. වෙළඳපල පාදක කරගත් කෘෂිකාර්මික ප්‍රවේශය වන ෂෙප් ප්‍රවේශය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගනිමින්, දැඩි උනන්දුවකින් යුතුව තෙදින පුහුණු වැඩසටහනට ක්ෂේත්‍ර නිලධාරීන් සහභාගි විය. එය ෂෙප් ප්‍රවේශයේ අඛණ්ඩ පැවැත්ම කෙරෙහි දැඩි පදනමක් සැලසීය. මෙම මුලපිරීම සමඟින්, මෙම වසරද අවසාන වන විට විශාල ගොවීන් පිරිසකගේ ජීවනෝපාය මෙම ව්‍යාපෘතිය නිසා වඩාත් ඉහල මට්ටමක පවතිනු ඇත.

තවදුරටත් කියවන්න : ගොවීන් සවිබලගැන්වීම: SHEP ප්‍රවේශයෙහි අත්‍යවශ්‍ය පියවර හතර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *